කේන්දරේ

kendare-2613සිහින් සංගීත රාවයක් ශාලාව සිසාරා හෙමිහිට ගලායයි. සුමනාගේ නංගී අතිනත ගත් මනමාලයාත් සමඟින් එකිනෙකා සමීපයට ගොස් ආචාර කරමින් පිළිගනියි. කාන්තාවෝ ඇයගේ දෙක’පොළ සිපගනිති.

හ්ම්... නිර්මලා

මා සිටි මේසයට තරමක් එහායින් වාඩි වී සිටියේ නිර්මලා ය. දැනට අවුරුදු හතළිහකට කලින් මට අතිශයින් ප්‍රේම කළ මා අතිශයින් ප්‍රේම කළ නිර්මලා ය. තවමත් ඇගේ තාරුණ්‍යය ඈ කෙරෙන් පලා ගොස් නැත. ඒ ළඟ වාඩි වී සිටින්නේ ඇගේ සැමියා බව අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නො වේ.

මගේ සිත ඇදීගියේ මෙයට අවුරුදු හතළිහක් ඈතට ය. එකල නිර්මලා සේවය කළේ මා සේවය කළ කාර්යාලයේ ම යතුරුලියන්නියක ලෙසිනි. ‘අපේ විවාහය ඉක්මන් කරමු නේ ද’ නිර්මලා යෝජනා කළේ අවුරුදු දෙකක් අපි එකිනෙකා ළඟින් ඇසුරු කළ පසු ය.

 

නිර්මලාගේ අම්මාත් තාත්තාත් අපේ ගෙදරට ආවේ මේ පිළිබඳ ව කතා කර ගැනීමට ය. එදින කාබී සතුටින් කතාබහ කළ ඔවුහු මගේ කේන්දරයත් රැගෙන ගියේ විවාහ මංගල උත්සවය සඳහා අවශ්‍ය නැකැත් සෑදීමට ය. ‘අපේ අම්මයි තාත්තයි ඔයගොල්ල ගැන කතා කළේ හරිම ප්‍රසාදයෙන්. ඔයාලගෙ ගෙදර වටාපිටාවටත් අපේ තාත්තට හරි ආස හිතිල. තාත්තගෙ හොඳ යාළුවෙක් ඉන්නව කේන්දර බලන. තාත්තා අද ම යනව කිව්ව හොඳ නැකතක් හදාගෙන එන්න.’ පසුදින කාර්යාලයේ දී නිර්මලා කීවා ය.

 

මා ඊළඟ සෙනසුරාදා ඉරිදා දින දෙක ගත කළේ හරිම අමාරුවෙන්. ඒ අපේ විවාහ මංගල උත්සවය සඳහා නැකත් යෙදිල තියෙන්නෙ කවදට ද කියල බලන්න. කොහොමද ඒක කෙරෙන්නෙ කියල නිර්මලාත් එක්ක කතා කරගන්න.

 

kendare-3

සඳුදා උදෙන්ම කාර්යාලයට ගියේ මහත් ආශාවෙනි. ඒත් නිර්මලා සේවයට පැමිණියේ නැත. කාර්යාලයට දන්වා තිබුණේ අසනීප නිසා සේවයට පැමිණිය නොහැකි බවයි. මා නිර්මලාගේ ගෙදරට ගියේ වරුවක් නිවාඩු දමා ය. මා යන විට අම්මා මිදුලේ වෙරළු ගහ යට සිටගෙන මා දෙස බලා සිටියා ය.

 

’කෝ අම්මේ නිර්මලා’

’එයා ගියා පුතේ අනුරාධපුරේ’

’මාත් එක්ක කිව්වෙ නෑනෙ එහෙම ගමනක් යන වගක්’

සමහර විට කියන්න බැරිවෙන්න ඇති.’

’කවද්ද එන්නෙ’

 

ඒ ගියේ ඇගේ මාමලාගේ ගෙදර බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඈ මෙම කාර්යාලයට මාරු වී ආවේ අනුරාධපුරයේ සිට බැවිනි. එකල ඇය නැවතී සිටියේ ද ඒ මාමලාගේ ගෙදර ය. මට නො දන්වා එහෙම ගමනක් යාම පිළිබඳ ව මට ආවේ මහත් තරහකි. තේ එකක්වත් නොබී ආපසු ආවේ එහෙයිනි. පසුවදා කාර්යාලයට ගියේ ඇගෙන් කුමන හෝ පණිවුඩයක් බලාපොරොත්තුවෙනි. එහෙත් ඈ පිළිබඳ කිසිවක් දැනගැනීමට නොලැබුණු බැවින් යළිත් ඇගේ ගෙදරට ගියේ ඈ පිළිබඳ කිසියම් තොරතුරක් දැනගැනීමට ය.

 

’ඒ මගුල හරියන් නෑ පුතේ’

නිර්මලාගේ අම්මා කිවූ වචනවලින් මා අල්ලා කරකවා පොළොවේ ගැසුවාක් මෙන් දැනුණි.

 

’ඒ ඇයි’

’ඒකට ඒ ළමය කැමති නෑ.’ ඇයි එහෙම වෙන්න හේතුවක් නෑනෙ. එහෙනම් මෙච්චර කල් අපි ආශ්‍රය කළේ මොහොකටද? තවත් තත්පරයක්වත් නො සිට මා ආපසු ආවේ දැඩි කෝපයෙනි. ‘අවලන් බැල්ලි. ඒකි මට බොරු කළා. කවුරුහරි ලොකු අත්තක් අහුවෙන්න ඇති. එතකොට මාව එපා වුණා. මං ඕකුන්ට පවුල් කන්න දෙන්නෙ නෑ. ඒකිට මාව එපා වෙන්න තරම් වරදක් මගෙන් නම් වෙලා නෑ. කවුරු හරි කේළමක් කියල ද දන්නෙ නෑ. එකත් එකට ම සිරා තමයි ඒක කරන්න ඇත්තෙ. ඕක ඔය මගෙන් පළිගන්න කරපු වැඩක්.

 

නිර්මලාගේ තාත්තා ගෙදරට පණිවුඩයක් එවා තිබුණේ දෙදෙනාගේ කේන්දර කොහොමත් ගැළපෙන්නෙ නැති බවයි. කෙහෙම්මල් කේන්දර. මේ ලෝකෙ මිනිස්සු කේන්දර බලලම ද කසාද බඳින්නෙ. ඒ ගොල්ලන්ගෙ කසාද හරි ගිහින් නැද්ද? මෙච්චර කල් යාළුවෙලා ඉඳල දැන් මොන කේන්දර ද?

 

මා කේන්දරයත් රැගෙන ගියේ බෙහෙවින් ප්‍රසිද්ධ දෛවඥයකු වූ ගුණසේකර ළඟට ය. ‘මහත්මයා මං කිව්වට තරහ ගන්න එපා. මහත්මයගෙ පළමු කසාදෙට මහත්තයගෙන් හරිම අපලයි. විවාහ වෙලා වැඩි කලක් ජීවත්වෙන්නෙ නෑ. හැබැයි දෙවැනි කසාදෙ නම් හරියනව.’ එහෙනම් නිර්මලා ඒක තමයි මාව අත්හැරියෙ. මාත් එක්ක මැරෙන්න වුණත් නිර්මලා සුදානම්. ඒත් එයාගෙ දෙමව්පියො කොහොමටත් ඒකට ඉඩ දෙන්නෙ නෑ. සති දෙකකට පමණ පසු නිර්මලාට අනුරාධපුරයට ම ස්ථාන මාරුවක් ලැබී තිබුණි. එහෙත් ඇය කවදාවත් කාර්යාලයට නො පැමිණියාය.

 

මම තවත් ප්‍රසිද්ධ දෛවඥයන් කීප දෙනකු කරාම මගේ කේන්දරය රැගෙන ගියෙමි. එහෙත් හැම දෙනා ම කීවේ එක ම ආකාරයෙනි. මා නිසා තවත් කෙනකුගේ ජීවිතය බිල්ලට දෙන්නට සූදානම් නො වී විවාහය පිළිබඳ අදහස මම සම්පූර්ණයෙන් අත්හැරීමි.

 

මේ ආකාරයෙන් ගෙවී ගිය දස වසරකට පසු පොඩි මාමා කේන්දරයක් ද රැගෙන අපේ ගෙදරට ආවේ ය. ‘හොඳ සල්ලි තියෙන තැනක්. හැබැයි ගෑනු ළමය ඉගෙන ගත්ත කෙනෙක් නම් නොවෙයි. හැමදාම මෙහෙම ඉන්න බෑනෙ. අපි ඒක කරමු. ඔය කේන්දර එහෙම විශ්වාස කරන්න එපා. ඔය කිව්වට ඒක එහෙම වෙන එකක් නෑ.’

 

’අපොයි මට නම් බෑ මිනීමරුවෙක් වෙන්න’. ‘මේ කේන්දරේට ගැළපෙන කේන්දරයක් තමයි ඒක. එහෙම වුණහම ඒ අපල කැපිල යනව. මං හොඳ කේන්දර කාරයෙක් ලවා බැලෙව්වා. කෙසේ වෙතත් මාමාගේත් අම්මාගේත් බලවත් පෙරැත්තය නිසා මම මගුලට කැමැති වුයෙමි.

 

මාමා ඉක්මනින් ම නැකැත් හදවාගෙන ඇවිත් තිබුණි. සුමනා නිර්මලා තරම් ලස්සන නොවුණත් ඒ තරම්ම අවලස්සන එකියක් නො වේ. ඈ ඉගෙන ගෙන තිබුණේ අටේ පන්තියට පමණි. ඇගේ දෙමව්පියන්ට හොඳ දේපළක් තිබුණු අතර මෑතකදී ඇගේ නමින් අලුත් නිවාසයක් ද මිලට ගත්තේ ය. විවාහය සඳහා සියල්ල සූදානම් කොට අවසාන ය. විවාහ මංගල දිනයට පෙර දින අම්මාගේ පෙට්ටියේ තිබූ පරණ පහේ කේන්දරයක් මට දක්නට ලැබුණි. එය මගේ නමින් ලියූවකි. තරමක් පරණ පාටක් පෙනුණත් එය මෑතකදී ලියූවක් බව හඳුනාගන්නට මට අපහසුවක් නොවීය. එය මගේ නියම කේන්දරයට වඩා වෙනස් බව මට එක් වරටම හඳුනා ගත හැකි වුයේ ඒ වන විට විසි තිස් වාරයක් මගේ කේන්දරය බලා තිබුණු බැවිනි.

 

මේක මාමගෙ වැඩක්. බොරු කේන්දරයක් හදල සුමනලට දීල තියෙන්නෙ. මේක මහ සහගහන අපරාධයක්. මම අම්මාට කතා කළෙමි.

 

’මොකක්ද අම්මේ මේ කරල තියෙන වැඩේ. මං විතරක් නොවෙයි අම්මත් මිනීමරුවෙක් වෙනව.’

 

’උඹ කෑ නොගහ හිටහන්. දැන් ඔක්කොම තීන්දු තීරණ කරල ඉවරනෙ. හෙට මගුල් ගේ’ මේ සියල්ලට ම ගත වූයේ සුමාන දෙකක් තරම් සුළු කාලයකි.

 

’මං දැන් ගිහින් කියනව සුමනලගේ ගෙදරට. මේ මඟුල දැන් ම නතර කරන්න ඕනෑ කියල. ඒ වන විට මාමා ද අපේ ගෙදරට පැමිණ සිටියේ ය.

 

’බොට පිස්සු ද මේ ගෙදරින් එහෙම අඩියක්වත් පිටට තියන්නෙ නෑ. එදා දවසම මාමා මා මුර කෙරුවේ ය.

 

පසුවදා මාමා මා සූදානම් කර ගත්තේ පෝරකයට ගෙනියන අපරාධකාරයකු පරිද්දෙනි. නැකතට පිටත්වීමට කාරයට නැග්ගත් කාරය පණ ගැන්වීමට නොහැකි විය. කරාස් කරාස් ගා මෝටරය උඩින් දිව්වා මිස ස්ටාට් වීමක් නොවී ය. මඟුල් ගෙදරට ආ වෙනත් කාරයක නැඟී මම පිටත්වූයෙමි. එහි බැටරි වයරය ගැලවී තිබූ බැවින් එය ඉක්මනින් සවි කරගැනීමට හැකි වූ නිසා අම්මලාට ඒ කාරයේ ම මාත් සමඟ යාමට හැකි විය.

 

kendare-1

විවාහයෙන් දින දෙකකට පමණ පසු දැනගන්නට ලැබුණේ සුමනා මානසික ආබාධයක් සහිත කාන්තාවක් බව ය. අවුරුද්දකට වරක් දෙකක් ඇය අංගොඩ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා අතර දැනට ද දිනපතා බෙහෙත් පෙති පාවිච්චි කරයි.

විවාහයෙන් පසු මා ගත කළේ දැඩි අසහනයකිනි. සුමනා මළහොත් ඒ අපරාධකාරයා වන්නේ මා ය. නීතිය මඟින් එය කිසිසේත් ඔප්පු කළ නොහැක්කක් වුණත් මගේ හිතේ නීතියට අනුවත් ලෝක ධර්මයේ නීතියට අනුවත් එය නිවැරදිය. සුමනලාගේ අම්ම තාත්තා කළේ ද මහත් වරදකි. පිස්සු ගෑනියක් කොළේ වහල මගේ කරේ ගැහැව්ව. මේ සියල්ල පිටස්තර ලෝකයට වසන් කරගත් අපි ගෙදර ජීවත්වූයේ එකිනෙකා නුරුස්සන සතුරන් පිරිසක් ආකාරයෙනි.

 

කෙසේ වෙතත් මාස තුනක් ගතවන විට සුමනා ගැබ් ගත්තා ය. සුමනා බබා හම්බවෙන්න ගිහින් මැරේවි. දරුවා ඉතිරි වෙලා සුමනා මළහොත් මගෙ කරපිට තවත් කරදරයක්. එහෙම වුණොත් දෙවැනි කසාදෙකට නිර්මලා මට කැමැති වෙන එකක් නැහැ. දරුවෙක් එක්ක මිනිහෙක් බාරගන්න කොයි ගෑනිද කැමැති වෙන්නෙ. අපේ ගෙදර පහසුකම් අඩු ඉතා කුඩා නිවසක් වූ බැවින් අපි සුමනාට දෙමව්පියන්ගෙන් ලැබුණු සුවිශාල අලුත් නිවසට පදිංචියට ගියෙමු. ඇගෙ අම්මා සුමනාට ආදරයෙන් සැලකුවාය.

 

ඇගේ රෝගයට වුවමනා කරන බේත් හේත් ආදිය නිසි වේලාවට ම ලබා දුන්නා ය. මගේ මිත්‍රයකු කීවේ මානසික රෝගවලට දෙන බෙහෙත් දරු ගැබට විෂ සහිත බව ය. කේන්දරයේ කී කතාව ඇත්තක් කිරීමට එය හේතුඵල න්‍යාය අනුව යෙදී ඇති බව මට වැටහුණි. දරු ගැබට මාස හතක් ව තිබිය දී සුමනාගෙ බඩේ වේදනාවක් ඇතිවිය. ඇය වහාම ගෙන ගියේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ය. ඒ වෙනුවෙන් නිර්ලෝභී ව වියදම් කරන්නට සුමනාගේ තාත්තා ඉදිරිපත් විය.

 

පසුවදා රෝහලට යන විට දැනග්නනට ලැබුණේ සුමනාට පුතකු ලැබී ඇති බවයි. මාස හතක් වුවත් දරුවා හොඳින් නිරෝගී ව වැඩී තිබුණි. මම ඉක්මනින් ම අම්මාට පණිවුඩයක් යැව්වෙමි. අම්මා ද ඉක්මනින් පැමිණියා ය. දහවල් රෝගීන් බලන වේලාවේ දී වාට්ටුවට ගිය අම්මා දරුවා වඩාගෙන මගේ අතට දුන්නා ය. සුදුම සුදු කිරිකැටි දරුවෙක්.

 

**         * * * * *        * * * * *        * * * * *             * * * * *

සීයායි කෑගසමින් මගේ ලේළිය අත උන් ඇගේ දියණිය මගේ අතට පැන්න බැවින් අතීතයෙන් මිදී මම යළිත් උත්සව ශාලාවට පිවිසියෙමි. කුඩා මිනිබිරිය මගේ කරට පා තබා ඉහළට නැඟුණා ය. මා ඇය වාරු කරගත්තේ අමාරුවෙනි. මම නිර්මලා දෙස බැලුවෙමි. නිර්මලා එක්වරම බිම බලා ගත්තා ය. එතෙක් ඇය මා දෙස බලා සිටි බව මට වැටහුණි. ඇගේ දෑස කඳුළෙන් බර වී තිබුණි. ‘තාත්තෙ ඔය ළමය වැටෙයි’ එසේ කීවේ මා අසල ම වාඩි වී උන් මගේ පුතා ය. සුමනා පැමිණ මිනිබිරිය වඩාගෙන මුහුණ සිම්බා ය.

 

එතෙක් අවුරුදු විසි අටක කාලය තුළ සුමනා මට දැක්වූයේ ඉමහත් ආදරයකි. මගේ සියලු කටයුතු ඇය සොයා බලා ඉටු කළා ය. ඇයට යම් යම් දේ අමතක වුවත් තීරණ ගැනීමේ දී දුර්වල බවක් දැක්වුවත් ඇය මා කියන දෙය එලෙස ම ඉටු කළ බැවින් එය ගැටලුවක් නොවී ය. දරුවන් දෙදෙනාට හොඳට ඉගැන්වීමට ඇය කැප වී කටයුතු කළා ය. ඒ සඳහා මගේ වැටුප ඇයට අවශ්‍ය නොවී ය. දැන් දරුවන් දෙදෙනා හොඳින් ඉගෙන රැකියාවන් ද කරති.

 

නිර්මලා ළඟට ගොස් කතා කළ යුතු ද නැද්ද යන දෙගිඩියාවෙන් මා බොහෝ වේලාවක් කල්ගත කළෙමි. නිර්මලා බිම බලාගෙන සිටියා ය.

 

මිල්ටන් මද්දුමාගේ
(silumina)

 

kemdare-2

Bookmark and Share