බංග්ලාදේශය , සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වේ. ඒ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර. තරගාවලියේ අවසන් තරගය සදහා මේ වනවිටත් සුදුසුකම් ලබා ඇති බංග්ලාදේශය අද තරගය ට පිවිසෙන්නේ හැන්ද අතැතිව යි. ඒ තම අභිමතය පරිදි තම අවසන් තරගයේ ප්‍රතිවාදියා තෝරාගැනීමට අවස්ථාව ඇතිවයි.

පවතින ප්‍රසාද ලකුණු සටහන අනුව අද තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වන අතර එසේ නොවුව හොත් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගය ට පිවිසෙන්නේ දළ ළකුණු වේගය මතයි.

කුසල් ජනිත් පෙරේරා ගේ හදිසි ආබාධය නිසා සංචිතය ට එක් කෙරුණු දනංජය ද සිල්වා ට කණ්ඩායම් අවස්ථාව හිමිවීම අවිනිශ්චිත වුවත් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායම ට එකවනු ඇති බවට අනුමාන පළවේ.

ඒ අනුව තවදුරටත් ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර හෝ කෝඩුකාර නවක වේග පන්දු අවිය වන ශෙහාන් මධුසංක ව එක් කළයුතු තැනක හතුරුසිංහ ඇති බවට සැකයක් නැත.

මේ නිසා, ශෙහාන් ව අත්හදා බැලීමට හතුරුසිංහ තීරණය කලහොත් එය විමතියක් නොවනු ඇත. කෙසේ වෙතත් තීරණාත්මක තරගයකදී නවකයෙකු තම මංගල තරගය ක්‍රීඩා කරවීම එතරම් නුවණට හුරු නොවන බැවින් තීරණය වෙනස් වීම ට ද ඉඩක් නැතුවාම නොවෙයි.

කෙසේ වෙතත් මෙතෙක් තම සුපුරුදු ක්‍රීඩා රිද්මයට පැමිණ නැති උපුල් තරංග, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල මෙම තරගයේදී තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම තරගයේ තීරණය වෙනස් කරනු ඇත.

ජය පරාජය හමුවේ දිගින් දිගටම කණ්ඩායම සමග සිටින ප්‍රේක්ෂකයින් බලා සිටින්නේ ඊළග තරගාවලි ජය කවදාද යන්න දැකීමට යි.

(අකලංක ප්‍රේමරත්න බ්‍රිතාන්‍යයේ සිට)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here